පාර්ලිමේන්තුව විසිරවීමට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

පාර්ලිමේන්තුව විසිරවීමට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

by Staff writer 04-12-2018 | 8:09 AM
COLOMBO (News 1st) : ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්  විභාගය ආරම්භ වී තිබේ.  අගවිනිසුරු නලින් පෙරේරා, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා මූර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් එළඹෙන 6 වනදා දක්වා විභාගයට ගැනීමට නියමිතව ඇත. ජනාධිපතිවරයා විසින් පසුගිය 9 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය, දෙමල ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ හා සිවිල් සන්විධාන 13 ක් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ. එම පෙත්සම් මෙන්ම එම පෙත්සම්වලට අතරමැදි පාර්ශවකරුවන් ලෙස සම්බන්ධ වූ උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරීස් ඇතුළු පිරිසක් ගොනු කර ඇති අතරමැදි පෙත්සම් ද අද සිට විභාගයට ගැනීමට නියමිතයි. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් සලකා බැලූ අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන හා ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම ගැසට් නිවේදනය කියාත්මක කිරීම ලබන 7 වනදා දක්වා බලරහිත කරමින්  අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ  පසුගිය 13 වනදා පස්වරුවේයි. පෙත්සම් විභාගයට දින නියම කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පස් දෙනෙකු පෙත්සම් විභාගය සදහා පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස ඉල්ලා මෝසමක් ගොනු කර තිබූ අතර, ඒ අනුව අගවිනිසුරු නලින් පෙරේරා මහතා විසින් තමා ඇතුළු සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාග කිරීමට තීරණය කළේ ය.