අගමැතිට සහ ඇමතිවරුන්ට ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

by Staff writer 03-12-2018 | 3:37 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අභියාචානාධිකරණයේ ගොනුකළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි. අද මෙම නියෝගය කළේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලයි. පෙත්සම් විභාගය අවසන්කර තීන්දුව ලබාදෙන තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගය නිකුත් කළ අධිකරණය ලබත 12 වැනි දා වගඋත්තරකරුවන්ට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි ද නිකුත් කළේ ය. විපක්ෂයේ බහුතරයක් එනම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 122 දෙදෙනෙකු, මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ප්‍රමුඛ රජය කෙරෙහි විශ්වාසයක් නොමැති බවට අවස්ථා දෙකකදී විශ්වාසභංග යෝජනා සම්මත කර තිබියදී ඔවුන් එම ධූරවල කටයුතු කරනුයේ කුමන බලයක් යටතේදැයි ලබන 12 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දන්වන ලෙසට නොතිසි නියෝගය නිකුත් කරමින් විනිසුරු මඩුල්ල මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ වගඋත්තරකරුවන් 49 දෙනාට නියෝග කළහ. තම අධිකරණය, දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු මනාව අධ්‍යනය කළ බවත් පහසුකමේ සමබරතාව මූලධර්මය අනුව වගඋත්තරකරුවන් එම ධූරවල කටයුතු කිරීමෙන් වැඩි අගතියක් සිදුවනුයේ පෙත්සම්කාර පාර්ශවයට බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ ය. ජාතික වැදගත්මක් ඇති කරුණක් ලෙස පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ කරුණු පැවතිය හැකි බව සඳහන් කළ විනිසුරු මඩුල්ල, අතුරු තහනම් නියෝගයක් නිකුත් කර දෙපාර්ශවයේම කරුණු විමසා අවසන් නියෝගයක් ලබාදීම සුදුසු බව පෙනී යන බැවින් තම අධිකරණය එම නියෝගය නිකුත් කරන බව කියා සිටියේ ය. පෙත්සම්කරුවන් අභියාචානාධිකරණයට පෙන්වා දී ඇත්තේ, අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තු විශ්වාසභංගයෙන් පරාජයවීමෙන් හැඟවෙන්නේ ඔවුන්ට රාජ්‍ය ආයතනවල තනතුරු දැරීම පිළිබඳ විශ්වාසයක් නොමැති බවයි. පෙත්සම තුළින් ඉල්ලා ඇත්තේ, අග්‍රාමාත්‍ය ධූරය හෝ කැබිනට් මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය නතර කිරීම නොව,  තනි වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සෙසු වගඋත්තරුවන් අදාළ ධූර දැරීම වලක්වාලීම බව අධිකරණයට හැඟී යන බව ද විනිසුරු මඬුල්ල පැවසුවේ ය. මෙම ධූරවල කුමන පුද්ගලයින් සිටිය යුතු ද යන්න අධිකරණය ගත යුතු තීරණයක් නොවන බව පෙන්වා දුන් විනිසුරු මඬුල්ල, එය තීරණය කළ යුත්තේ ව්‍යවස්ථාව යටතේ බලය ඇති පිරිස බව ද අවධාරණය කර තිබේ.