සැරයන් ඉන්දිකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

සැරයන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

by Staff writer 02-12-2018 | 4:41 PM
COLOMBO (News 1st) : මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරීයේ යෙදී සිටියදී ඝාතනයට ලක් වු පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දහවල් අවසන් ගෞරව දැක්වීය. ගාල්ල උඩුගම ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට ජනාධිපතිවරයා ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව නිරෝෂන් ඉන්දික ප්‍රසන්න මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ ඥාති හිතමිත්‍රාන්දීට සහ පොලිස් දෙපාර්තමේන්තුවේ සමස්ත සහෝදර නිලධාරීන් වෙත සංවේගය පළ කර ඇත. පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න මහතාගේ අවසන් කටයුතු අද සවස සිදුකෙරිණ. මේ අතර වව්නතිව් පොලිස් මුරපොළේදී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් ගනේෂන් දිනේෂ් මහතාගේ අවසන් කටයුතු ද අද සිදු කෙරිණ. ඔහු වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ ශෝක පණිවුඩය අවමංගල්‍ය උත්සවයේදී කියවනු ලැබීය. ගනේෂන් දිනේෂ් මහතා කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු 28 හැවිරිදි වියේ පසුවිය. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ කිලිනොච්චියේදී අත්අඩංගුවට ගැනිණ. https://www.facebook.com/NewsfirstSL/videos/285164572204282/