ජනාධිපති ළඟදීම තීන්දුවක් ගනීවි - ආර්. සම්බන්ධන්

by Staff writer 01-12-2018 | 8:23 PM
COLOMBO (News 1st) - රට තුළ මතුව ඇති ව්‍යාකූල දේශපාලන තත්ත්වය පිළිබඳව තවත් තීරණාත්මක සාකච්ඡා දෙකක් ඊයේ රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පසුගිය බ්‍රහස්පතින්දා කථානායක කරු ජයසූරිය මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති සාකච්ඡාවේදී ඇති වූ එකඟතාවයන්ට අනුව ඊයේ රාත්‍රියේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. රාත්‍රී 7.30 ට පමණ ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වූ එම සාකච්ඡාව අවසන් වූයේ රාත්‍රී 8.30ට පමණ ය. මෙම සාකච්ඡාව අවසන් වනවාත් සමගම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකු ඇතුළු නියෝජිතයින් පිරිසක් ජනාධිපති කාර්යාලයට පැමිණි අතර ඔවුන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා පැවැත්විණි.