ගුවන්තොටුපොළේ කොන්ත්‍රාත්කරුවන්ට රතු එළියක්

"ගුවන්තොටුපොළේ ඉදිකිරීම් නිසි කලට නිම නොකළ හොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා" - නිමල් සිරිපාල ද සිල්වා

by Staff writer 01-12-2018 | 9:27 AM

COLOMBO (News 1st) - කටුනායක බණ්ඩාරනායක ජාන්‍යන්තර ගුවන්තොටුපොළේ නව ගුවන් යානා අංගනයේ හා මගී පර්යන්තවල ඉදිකිරීම් නිසි කලට නිම නොකළ හොත් කොන්ත්‍රාත්කරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, නව ඉදිකිරිම් ප්‍රමාදවීම පිළිබඳව සොයා බැලීම සඳහා ගුවන්තොටුපොළේ කළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. නව ගුවන් යානා අංගනය ඉදිකිරීමත් සමග දැනට නවතා තැබිය හැකි ගුවන් යානා සංඛ්‍යාව 24 සිට 49 දක්වා ඉහළ යන අතර මේ හේතුවෙන් ගුවන්ගත වන යානාවලට හා ගොඩබස්වන යානාවලට අනවශ්‍ය තදබදයන්ට මුහුණදීමට සිදු නොවන බව ද ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ ය. ජයිකා ආධාර යටතේ මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 6000 කි. ගුවන්තොටුපොළේ ඊයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ලබන වසරේ ඔක්තෝබර් මාසයට පෙර නව ඉදිකිරීම් නිම කළ යුතු බවයි.