එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ යුක්තියේ යාත්‍රාව ගමන් අරඹයි

by Staff writer 01-12-2018 | 1:05 PM
COLOMBO (News 1st) - ජනතා අයිතිවාසිකම් සුරකින ලෙසට බල කරමින් එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ රථ පෙළපාලියක් කොළඹ මහ නගර සභාව ඉදිරිපිටින් අද ගමන් ආරම්භ කළේ ය. මෙය නම් කර තිබුණේ, යුක්තියේ යාත්‍රාව ලෙසයි. අද පෙරවරු 7.30ට පමණ කොළඹ මහ නගර සභාව ඉදිරිපිටින් මෙම රථ පෙළපාලිය ගමන් ආරම්භ කළේ, ආගමික වතාවත්වලින් අනතුරුව ය. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. යුක්තියේ යාත්‍රාව රථ පෙළපාලිය නිදහස් චතුරස්‍රය ඔස්සේ බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල පසු කරමින් මොරටුවට ළඟා විය. පසුව රථ පෙළපාලිය පානදුර පසු කරමින් කළුතරට ළඟා වූ අතර එහිදී රථ පෙළපාලියට එක්වූවෝ කළුතර බෝ සමිදුන්ගේ ආශිර්වාද ලබා ගත්හ. පසුව පිරිස කළුතර නගරයේදී ජන හමුවකට ද එක්විය. යුක්තියේ යාත්‍රා රථ පෙළ බේරුවල, අලුත්ගම නගර පසු කරමින් අම්බලන්ගොඩ නගරයට ළඟා වන විට හිමි වූයේ ඉහළ පිළිගැනීමකි. ජනතා අයිතිවාසිකම් සුරකින ලෙසට බල කරමින් එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ රථ පෙළපාලිය අද පස්වරුවේ සීනිගම දේවාලයට ළඟා වූ අතර එහිදී පිරිස දේව කන්නලව්වක ද නිරත වූහ. ගාල්ල මාතර පසු කරමින් යුක්තියේ යාත්‍රාව රථ පෙළපාලිය මේ වනවිට අද ගමනාන්තය වන දෙවිනුවර විෂ්ණු දේවාලයට පැමිණෙමින් තිබේ. රථ පෙළපාලිය හෙට කතරගම ඔස්සේ මහියංගනයට ළඟා වීමට නියමිත ය.