මොරගහකන්ද ජලාශ්‍රයේ වාන් දොරටු විවෘත කිරීම අද

මොරගහකන්ද ජලාශ්‍රයේ වාන් දොරටු විවෘත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

by Staff writer 30-11-2018 | 6:42 AM
COLOMBO (News 1st) - මොරගහකන්ද ජලාශ්‍රයේ වාන් දොරටු අද විවෘත කිරීමට නියමිතව තිබේ. මොරගහකන්ද ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරී පී.ජී. දයානන්ද මහතා සඳහන් කළේ, ජල මට්ටම මේ වන විට උපරිම ධාරිතාවට ළඟා වී ඇති බව ය. මොරගහකන්ද ජලාශ්‍රයේ වාන් දොරටු විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිතුමා අද පෙරවරුවේ මොරගහකන්ද ජලාශ්‍ර ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිත බව ය. කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදිකෙරුණු අවසන් වාරි යෝජනා ක්‍රමය වන මොරගහකන්ද ජලාශ්‍ර ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2007 වසරේදී ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මග පෙන්වීම යටතේ 2015 වසරේ සිට ව්‍යාපෘතියේ කටයුතු නව ජවයකින් ඉදිරියට ක්‍රියාත්මක කෙරුණු අතර කොන්ක්‍රීට් වේල්ලක්, පස් වේල්ලක් සහ කළු ගල් පිර වූ වේලි තුනක් සහිත මෙරට ඇති එකම ජලාශ්‍රය මොරගහකන්ද ජලාශ්‍රයයි. මොරගහකන්ද ජලාශ්‍රයේ රන් දියවර මුදා හැරීම පසුගිය ජනවාරි මස 08 වැනිදා ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.