හතුරුසිංහ කොදෙව් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරයට?

හතුරුසිංහ කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට?

by Staff writer 29-11-2018 | 9:46 PM
(News 1st) - ශ්‍රී ලංකා වත්මන් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අයැදුම් කර ඇති බව ක්‍රිකට් එජ් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිං යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ප්‍රගතියක් නොලැබීම තුළ ඔහු පිළිබඳව පසුගිය දිනවල විවේචන එල්ල විය. මේ පිළිබඳව දත්ත හා තොරතුරු සමගින් පසුගිය දින කිහිපයේදී ද අපි තොරතුරු වාර්තා කළෙමු. ක්‍රිකට් එජ් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි චන්දික හතුරුසිංහ මහතා කොදෙව් ක්‍රිකට් පුහුණුකරු තනතුරු සඳහා අයැදුම් කර ඇත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ඔහු අතර පවතින ගිවිසුමේ වලංගු භාවය සම්බන්ධයෙන් ගැටලුවක් පැන නගියි. යම් කිසි අයුරකින් වත්මන් ක්‍රිකට් පරිපාලනය සමග තමා හට කටයුතු කිරීමට නොහැකි බව පවසමින් චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් හැර යාමේ තීරණයකට එළැඹියොත් එහිදී තම ගිවිසුමට අනුව වන්දි මුදලක් ඉල්ලා සිටීමේ හැකියාවක් පවතී. නමුත් මෙම ප්‍රවෘත්තිය අනාවරණය වීමෙන් පසු අදාළ අයැදුම් කිරීම ඔහු විසින් සිදු කර ඇත්නම් එම අවස්ථාව ඔහුට අහිමි වනු ඇති. ඔහු හා ඇති කර ගත් ගිවිසුම පිළිබඳව කරුණු දන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන්ගේ වගකීම වන්නේ, අදාළ තත්ත්වය පිළිබඳව සොයා බලා කරුණු වාර්තා කිරීමයි. කොදෙව් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා අයැදුම් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගන්නා ක්‍රියා මාර්ගය මොනවාද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විගණනයට යටත් ආයතනයක් හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුට හිමි සියලු ගෙවීම් හා දීමනා සම්බන්ධයෙන් වන වගකීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට මග හැර සිටිය හැකි ද ?