වි. නායක හා එ.ජා.පෙ නායකයින් හමු වීමට ජනපති එකඟ වේ

විපක්ෂ නායක හා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමු වී සාකච්ඡා කිරීමට ජනපති එකඟ වෙයි

by Staff writer 29-11-2018 | 10:12 PM
COLOMBO (News 1st) - හෙට පස්වරුවේ විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා එකඟ වී ඇතැයි කථානායක කාර්යාලය අද පස්වරුවේ නිවේදනය කළේ ය. අද පස්වරු 3.30ට කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. කථානායක කාර්යාලය සඳහන් කළේ, අද පාර්ලිමේන්තුවේදී පාර්ශව ගණනාවක් පළ කළ අදහස් සැලකිල්ලට ගනිමින් මෙම හමුව සිදු වූ බව ය. සෑම අංශයකින්ම රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇති වෙමින් පවතින බවත්, රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම, ආයෝජන හා සංචාරක ක්ෂේත්‍රවල බිඳ වැටීම රටට තවදුරටත් දරා ගැනීමට අපහසු බැවින් ඉක්මන් විසඳුමක් ලබා දීමේ අවශ්‍යතාව කථානායකවරයා මෙහිදී පෙන්වා දී තිබේ. කථානායක කාර්යාලය නිවේදනය කළේ, කථානායකවරයා පෙන්වා දුන් කරුණු පිළිබඳව ජනාධිපතිතුමාගෙන් යහපත් ප්‍රතිචාරයක් පළ වූ බව ය. විසඳුමකට එළැඹීම සඳහා කථානායකවරයා ඉටු කරමින් සිටින කාර්යභාරය ද ජනාධිපතිතුමා මෙහිදී ඇගයීමට ලක් කර තිබේ.