මැක්කන් නිසා පාසලක් සතියක් පුරා වසා දැමේ

මැක්කන් නිසා ත්‍රිකුණාමලය උසස් බාලිකා විද්‍යාලය තාවකාලිකව වසා දැමේ

by Hashini De Mel 29-11-2018 | 7:04 AM

COLOMBO (News 1st) - මැක්කන් උවදුරක් හේතුවෙන් ත්‍රිකුණාමලය උසස් බාලිකා විද්‍යාලය සතියක් පුරා තාවකාලිකව වසා දැමීමට සිදු ව තිබේ.

දෙමාපියන් පැවසූවේ, සතියක කාලයක සිට පාසල වසා දැමීම හේතුවෙන් පාසල් විභාග පැවැත්වීම ද ප්‍රමාදවී ඇති බවයි. මැක්කන් උවදුර අවසන් නොවීම හේතුවෙන් විභාග කටයුතු සිදු කෙරුනේ වෙනත් පාසල් දෙකක සහ උපකාරක පන්තියකදීය. ගුරුවරුන්ගේ හා අධ්‍යාපන බලධාරීන්ගේ දැනුම්දීම මත මහජන සෞඛ්‍ය නිලධාරීන් පාසලට පැමිණි විවිධ ක්‍රියා මාර්ග ගත්ත ද මේ දක්වා කෘමි උවදුර අවසන් වී නැතැයි දෙමාපියන් පවසති. ඔවුන් ඉල්ලා සිටින්නේ, පාසල තුළ පැතිර ඇති මෙම කෘමි උවදුර පාලනය කර තම දරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු යොදන ලෙසයි. මේ අතර නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා සහ මහජන සෞඛ්‍ය බලධරීන් ඇතුළු පිරිසක් ත්‍රිකුණාමලය උසස් බාලිකා විද්‍යාලයට පැමිණ කෘමියා මර්දනය කිරීමට පියවර ගෙන ඇත. අනතුරුව ත්‍රිකුණාමලය මහජන සෞඛ්‍ය පරීක්ෂණ කාර්යාලයෙන් කෘමි මර්දන දියරක් පාසලට ඉසින ලෙස ලබාදී තිබේ.