පාර්ලිමේන්තුව අද ත් පෙරවරු 10.30 ට රැස්වෙයි

පාර්ලිමේන්තුව අද ත් පෙරවරු 10.30 ට රැස්වෙයි

by Hashini De Mel 29-11-2018 | 6:26 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද පෙරවරු 10. 30 ට රැස්වීමට නියමිතව තිබේ.

ඒ, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. අද ත් පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත මෙන් ම ආරාධිත ගැලරිය ද වසා දමන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී කාර්යාලය පැවසුවේ ය. මාධ්‍යවේදීන් සඳහා වන ගැලරිය පමණක් අද දිනයේදීත් විවෘතව පවතින බව පාර්ලිමේන්තවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, අවශ්‍ය පරිදි පාර්ලිමේන්තු පරිශ්‍රයට අද දිනයේදීත් පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බවයි. මේ අතර අද පෙරවරු 9.00 ට පාර්ලිමේන්තු පරිශ්‍රෙය්දී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට ආණ්ඩු පක්ෂයට ආරාධනා ලැබී ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිව්ස්ෆස්ට් විමසීමකදී සඳහන් කළේ ය. නමුත් එම රැස්වීමට සහ අද පාර්ලිමේන්තු සැසිය සඳහා සහභාගී වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය, අද උදෑසන රැස්වන ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී ගන්නා බව ඔහු පවසයි. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද උදෑසන 8.30 ට පාර්ලිමේන්තු පරිශ්‍රෙය්දී රැස්වීමට නියමිතවේ. මේ අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයාට රජයේ මුදල් පරිහරණය කිරීමට කිසිදු බලයක් නොමැති බවට වූ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකට ලක් කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයත්න කරුණාතිලක මහතා සඳහන් කළේ ය. එම යෝජනාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රවී කරුණානයක මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් පසුගිය 19 වැනි දා කථානායකවරයාට භාර දුන්නේ ය.