ගෝලීය උණුසුම ගැන එක්සත් ජාතීන්ගෙන් වාර්තාවක්

ගෝලීය උණුසුම ඉහළ යාම වැළැක්වීමට දරණ ප්‍රයත්න අසාර්ථකයි - එක්සත් ජාතීන් පෙන්වා දෙයි

by Staff writer 28-11-2018 | 9:40 AM
(News 1st) - ගෝලීය උණුසුම ඉහළ යාම වැළැක්වීමට ලොව දරණ ප්‍රයත්න අසාර්ථක වෙමින් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි. ඒ, 2017 වසරේදී වායුගෝලයට මුසු වූ කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය වාර්තාගත ලෙස ටොන් බිලියන 53.5ක් දක්වා ඉහළ යාමෙන් පසුව ය. මෙලෙස වායුගෝලයට මුසු වූ කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය ඉහළ ගොස් ඇත්තේ, වසර 4කට පසුව බව ද එම වාර්තාවේ සඳහන් ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ එම වාර්තාවට අනුව කාබන්ඩයොක්සයිඩ් වායුව, වායුගෝලයට මුසුවීම වැළැක්වීමේ ප්‍රයත්න අසාර්ථක වීමට හේතුවී ඇත්තේ ගෝලීය ආර්ථික වර්ධනයයි. මේ අනුව 2020 වසර වන විට පැරිස් දේශගුණ එකඟතාවයේ අරමුණු සහ ඉලක්ක ඉටු කර ගැනීමට අපොහොසත් වනු ඇතැයි ද එම වාර්තාව පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලොව ගෝලීය උණුසුමේ සාමාන්‍ය අගය සෙලිසියස් අංශක 1.5ක මට්ටමේ පවත්වා ගැනීමට නම් වසර 2030 වන විට ගෝලීය කාබන්ඩයොක්සයිඩ් වායු විමෝචනය අදට වඩා 55%කින් අවම කර ගත යුතු වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පවතින තත්ත්වය අනුව මෙම සියවස අවසන් වන විට ගෝලීය උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 3.2කින් ඉහළ යනු ඇති බව ය. මෙලෙස ගෝලීය උණුසුම ඉහළ යාමට මුල්ව ඇත්තේ සෞදි අරාබිය, ආර්ජන්ටිනාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපා සංගමයට අයත් රටවල්, දකුණු කොරියාව, අමෙරිකාව සහ දකුණු අප්‍රිකාව යන රටවල ක්‍රියාකාරකම් ය. පෝලන්තයේදී දේශගුණය පිළිබද එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබියදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වාර්තාව නිකුත් කළේ ය.