අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න රක්ෂිත බන්ධනාගාරයට

Update: අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න රක්ෂිත බන්ධනාගාරයට.

by Staff writer 28-11-2018 | 4:28 PM
COLOMBO (News 1st) : 4.30 pm ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ ඔහු අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් වු අවස්ථාවේදීයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීම සඳහා අද පෙරවරුවේ අධිකරණ පරිශ්‍රයට පැමිණියේ ය. ඒ තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ නාවික හමුදාවේ හිටපු ලුතිනන් කර්මාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි නමැත්තාට අධිකරණය මහහැර සිටීමට ආධාර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙනි. කොටුව මහේස්ත්‍රත් අධිකරණ පරිශ්‍රයයේ අද පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබිණ. පෙරවරුවේ සිදුකළ කරුණු දැක්වීමෙන් අනතුරුව දිවා ආහාරය සඳහා අධිකරණ කටයුතු කල් තැබී ය. එම අවස්ථාවේ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගිය පසුව සිවිල් ඇදුමින් සැරසී සිටි කිහිපදෙනෙකු මාධ්‍යට බාධා කළැයි මාධ්‍යවේදීහු දැඩි ලෙස අප්‍රසාදය පළ කළහ. අනතුරුව මාධ්‍යවේදීන්ට පහරදුන් බවට චෝදනා නැගුන පුද්ගලයා පොලිස්භාරයට පත්විය. https://www.youtube.com/watch?v=5qXdJieaKW0 පෙරවරුවේ සිය නිල ඇදුමින් පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරයා පස්වරුවේ පැමිණියේ සිවිල් ඇඳුමිනි. ඉදිරිපත් වු කරුණු අනුව අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට ඇප ලබාදීමෙන් ඉදිරි විමර්ශනවලට බාධාවක් සිදුවිය හැකි බව අධිකරණයට පෙනී යන බැවින් ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේ ය. මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ අධිකරණය විසින් දෙවරක් කරන ලද නියෝගය අනුව සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරමින් තිබියදී ඔහු අධිකරණයට භාර වී ඇති නමුත් ඉදිරිපත් වන කරුණු අනුව ඔහුට ඇප ලබාදීය නොහැකි බවයි. එසේවුව හොත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පමණක් නොව 2008 වසරේදී තරුණයන් ඇතුලු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට ද බාධා ඇතිවිය හැකි බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ය. එම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි නමැත්තාට මෙම සැකකරු සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා විසින් පසුගිය 25 වැනිදා නාවික හමුදා මූලස්ථානය තුළදී පිස්තෝලයක් එල්ල කර තර්ජනය එල්ල කිරීම සම්බන්ධයෙන් ද වහා ම විමර්ශනයක් කරන ලෙස අධිකරණය අද කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ ය.  
9.00 am ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මීට ටික වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීම සඳහා අධිකරණ පරිශ්‍රයට පැමිණියේ ය. ඒ, තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි නමැත්තාට අධිකරණය මහහැර සිටීමට ආධාර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.