'InSight' සාර්ථකව අඟහරු මත ගොඩබසී

'InSight' සාර්ථකව අඟහරු මත ගොඩබසී

by Staff writer 27-11-2018 | 10:59 AM
COLOMBO (News 1st) : අමරිකාවේ නාසා ආයතනය අඟහරු ග්‍රහයා වෙත යැවූ නාසා ඉන්සයිට් රොබෝ යානය සාර්ථකව ගොඩබස්වනු ලැබීය. යානය ගොඩබස්වා මිනිත්තු කිහිපයක් ඇතුළත අඟහරු ග්‍රහයා මතුපිට ඡායාරූප එවීමට ඉන්සයිට් රොබෝ යානය සමත් විය. අඟහරු මතුපිටට සාර්ථකව ගොඩබස්වන ලද මෙම යානය අඟහරු ග්‍රහයාගේ භූ අභ්‍යන්තරය අධ්‍යනය කිරීම සඳහා අඟහරු වෙත ගොඩබස්වන ලද පළමු රොබෝ යානයයි. මාස 6 ක අභ්‍යවකාශ චාරිකාවකින් පසු අඟහරු වෙත ළඟා වූ ඉන්සයිට් රොබෝව රැගත් යානය පෘථිවියේ සිට ගමන්කර ඇති දුර කිලෝමීටර් මිලියන 548කි. පසුගිය මැයි මාසයේදී කැලිෆෝනියාවෙන් අභ්‍යවකාශගත කළ මෙම ඉන්සයිට් මෙහෙයුම සඳහා අමෙරිකාව වැය කළ මුදල ඩොලර් බිලියනයකට ආසන්නයි. මෙතෙක් අභිරහසක්ව පැවති අඟහරු ග්‍රහයාගේ නිර්මාණය වීම, පැවැත්ම ඇතුළු කරුණු පිළිබඳව ඉන්සයිට් රොබෝව මගින් අධ්‍යනය කරනු ඇති. අගහරු වෙත මිනිසුන් යැවීමේ මෙහෙයුම්වලට පෙර ක්‍රියාත්මක කෙරෙන මෙම ඉන්සයිට් අභ්‍යවකාශ මෙහෙයුමට අමතරව 2020 වසරේදී රෝවර් යානාවක් අඟහරු වෙත ගොඩබැස්වීමට නාසා ආයතනය සැලසුම් කර තිබේ. ඉන්සයිට් රොබෝ යානය සාර්ථකව අඟහරු වෙත ගොඩබස්වන ලද 8 වැනි අභ්‍යවකාශ යානයයි. එම සියලු යානා අඟහරු වෙත ගොඩබස්වනු ලැබුවේ, නාසා ආයතනය වීම විශේෂත්වයකි. ඉන්සයිට් රොබෝ යානය අඟහරු වායුගෝලයට ඇතුළු වූයේ පැයට කිලෝමීටර් 19,795 ක වේගයකිනි. මිනිත්තු 07 ක් තුළ එය අඟහරු පෘෂ්ඨය මතට ගොඩබැස්වීම සඳහා පැයට සැතපුම් 70 දක්වා වේගය අඩාල කරනු ලැබුවේ දැවැන්ත පැරෂූටයක ආධාරයෙනි.