මහ බැංකුව නව කාසි කිහිපයක් නිකුත් කරයි

මහ බැංකුව නව කාසි කිහිපයක් නිකුත් කරයි

by Staff writer 27-11-2018 | 10:08 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට සංසරණය සඳහා අද නව කාසි කිහිපයක් නිකුත් කළේ ය. රුපියල, රුපියල් 02, රුපියල් 05 හා රුපියල් 10 යන කාසි වර්ග හතරකින් යුත් නව කාසි කාණ්ඩය දෙසැම්බර් මස 03 වන දා සිට වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය. ලෝහාලෝපිත කාසිවලට වඩා වැඩි කල් පැවැත්මක් ඇති මළ නොබැඳෙන වානේවලින් මෙම නව කාසි නිෂ්පාදනය කර තිබේ. කාසිවල විෂ්කම්භය හා ඝනකම ද කාසියේ වටිනාකම සමග වැඩි වන අනුපිළිවෙළට වෙනස් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය. මෙහි පළමු කාසි ඇසුරුම අද මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් පිළිගැන්වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.