"සිදු වූ වංචා දූෂණ සම්බන්ධයෙන් ජනපති ද සමවගකීම භාරගත යුතුයි" - කබීර් හෂීම්

by Staff writer 26-11-2018 | 8:48 PM

COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ විදෙස් මාධ්‍යවේදීන් අමතමින් කළ ප්‍රකාශය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කබීර් හෂීම් මහතා පැවසූවේ, පසුගිය ආණ්ඩුව කිසිසේත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක් නොවන බවයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආණ්ඩුවේ ප්‍රධානියා පමණක් නොව එවක රජයේ තීරණ ගැනුණු කැබිනට් මණ්ඩලයේ ද නායකයා බැවින් ඉකුත් වසර 3 හමාරක පමණ කාලය තුළ සිදුවුවා යැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද සමවගකීමක් භාරගත යුතු බව කබීර් හෂීම් මහතා පවසයි. අදාළ දූෂණ වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ජනාධිපති කොමිසමක් පත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය නිවේදනයෙන් දක්වා ඇත්තේ එම කොමිසම මගින් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ද පරීක්ෂණ පැවැත්විය යුතු බවයි. රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිවුව ද ඔහුව ජීවිතාන්තය තෙක් යළි ත් අග්‍රාමාත්‍ය ධූරයට පත් නොකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද කබීර් හෂීම් මන්ත්‍රීවරයා සිය නිවේදනයෙන් අවධානයට යොමුකර ඇත. එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ අදාළ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය කිරීමක් බවයි. ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූල විධිවිධාන ක්‍රියා කළ යුතු බවත් සිය පෞද්ගලික ද්වේෂයන් පිරිමසා ගැනීම වෙනුවෙන් ව්‍යවස්ථාව භාවිත නොකළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජීවිතාන්තය දක්වා ජනාධිපති ධූරයට පත්කර නොගත් බවත් තව ත් මාස 12 කින් පමණ ඔහුගේ ධූර කාලය අවසන් වන බවත් එකසත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.