සා/පෙළ උපකාරක පන්ති හෙට මැදියම් රැයෙන් පසු තහනම්

සා/පෙළ උපකාරක පන්ති හෙට මැදියම් රැයෙන් පසු තහනම්

by Staff writer 26-11-2018 | 3:19 PM

COLOMBO (News 1st) - අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු සම්පූර්ණයෙන් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේ ළඟ තබා ගැනීම සම්පූර්ණයෙන් තහනම් බවයි. යම් අයෙක් හෝ ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග යම් ආකාරයකින් හෝ කඩ කරන්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට නැතිනම් විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ පිළිබඳ පැමිණිලි, විභාග දෙපාර්මේන්තුවේ 1911 හෝ 0112 278 42 08 හෝ 0112 278 45 37 යන දුරකතන අංකවලට දැනුම් දිය හැකියි. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන 03 වන දා ආරම්භ වන අතර එය ලබන 12 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති.