මාතර සිසුවා ඝාතනයේ සැකකරු අධිකරණයට භාරවෙයි

මාතර පිහි ඇණුමේ සැකකාර සිසුවා අධිකරණයට භාරවෙයි

by Sagarika Chathumali 26-11-2018 | 12:30 PM
COLOMBO (News 1st) : මාතර, ඇලවේල්ල පාරේ උපකාරක පංතියක් අසලදී පිහියකින් ඇන සිසුවෙකු ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අධිකරණයට භාර වීමෙන් අනතුරව ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 17 හැවිරිදි ප්‍රධාන සැකකරු ජාතූන් කංකානම්ගේ සිතිජ සෞන්දර්ය නමැති අයෙකි. අද පෙරවරුවේ ඔහු මාතර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. ප්‍රධාන සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ. මේ අතර එම ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු මාතර පොලිස් අධිකාරි කාර්යාලයට අද දහවල් භාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. කුෂාන් නම්නජිත් සමරසිංහ දිසානායක නමැති එම සැකකරුද 17 හැවිරිදි වියේ පසුවේ. ඝාතනයෙන් පසු සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් තිබූ අතර අපරාධය සිදු කිරීම සඳහා ඔවුන් පැමිණි යතුරුපැදිය මාතර නගරයේ තිබීයදී ඊයේ පස්වරුවේ සොයා ගැනිණ. පසුගිය 24 වන දා පස්වරුවේ සිදුවූ පිහි ඇනුමෙන් තුවාල ලැබූ මාහේන, තිහගොඩ පදිංචි 19 හැවිරිදි රසිඳු ගිම්හාන සිසුවා ජීවිතක්ෂයට පත්වූයේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි. සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි එක් සිසුවෙකු ඊයේ රෝහලෙන් පිටව ගොස් තිබිණ. මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, ප්‍රධාන සැකකරුගේ පෙම්වතියට, මියගිය රසිඳුගේ සහෝදරයා බැණ වැදීමත් සමග දෙපාර්ශවය අතර අවස්ථා කිහිපයකදී ගැටුම් සිදුව ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම පිහිඇණුම සිදුව තිබිණ. https://www.youtube.com/watch?v=jXI9SI9rHkc