හඳුනානොගත් මෘත ශරීර හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා

හඳුනානොගත් මෘත ශරීර හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා

by Staff writer 25-11-2018 | 11:06 AM

COLOMBO (News 1st) - හඳුනානොගත් මෘත ශරීර හේතුවෙන් රෝහල් මෘත ශරීරාගාරවල කටයුතුවලට බාධා මතු වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම සිරුරු සම්බන්ධයෙන් සිදුවන පොලිස් පරීක්ෂණවල ප්‍රමාදය හේතුවෙන් සිරුරු මෘත ශරීරාගාර තුළ දිගුකාලයක් තැබීමට සිදු ව ඇති බවය. මේ හේතුවෙන් රෝහල් කටයුතුවලට සහ මෘත ශරීරාගාරවල ඇති ශීතකරණවල ධාරිතාව අධිකවීම වැනි කරුණු හේතුවෙන් ගැටලු මතු වෙමින් ඇතැයි ඔහු පැවසුවේ ය. එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසුවේ, පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර එවැනි මෘත ශරීර සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි ඉල්ලා පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලිඛිතව දැනුම් දෙන බවයි. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, මෘත ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට ඥාතීන් ඉදිරිපත් නොවීමෙන් එම කටයුතු ප්‍රමාද වන බවය. හඳුනානොගත් මෘත ශරීරවල ඥාතීන් හඳුනාගැනීමට විමර්ශන ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවේ ය. මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මේ පිළිබඳ රෝහල් බලධාරීන් සමග සාකච්ඡා කර කඩිනම් විසඳුමකට පැමිණිමට කටයුතු කරන බවයි.