රනිල් අගමැති ධුරයට පත් නොකරන බව ජනපති අවධාරණය කරයි

රනිල් කිසිදිනක අගමැති ධුරයට පත් නොකරන බව ජනපති අවධාරණය කරයි

by Sagarika Chathumali 25-11-2018 | 5:52 PM
COLOMBO (News 1st) : තම ජීවිත කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධුරයට පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මෙරට සිටින විදේශීය මාධ්‍ය ආයතනවල වාර්තාකරුවන් අමතමින් අවධාරණය කර තිබේ. ජනාධිපතිවරයා පවසා ඇත්තේ, එක්සත් ජාතික පක්ෂයට බහුතරය තිබුණ ද රනිල් වික්‍රමසිංහ මහතා තමන් ඉදිරියට රැගෙන නොඑන ලෙස ඔවුන්ට පවසා ඇති බවයි. රනිල් වික්‍රමසිංහ මහතා, ඔක්තෝබර් 26 වැනි දින ධුරයෙන් ඉවත් කළේ, ඉතාම දුෂිත වීම හේතුවෙන් බව ජනාධිපතිතුමා ඉතා හැඟීම් බරව ප්‍රකාශ කළ බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ ය. ප්‍රංශ පුවත් සේවය සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ බහුතරය ඇති තනි විශාලතම පක්ෂයේ නායකයා අගමැති ධුරයට පත් කළ යුතු නොවේ දැයි මාධ්‍ය වේදීන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් විමසා ඇති බවයි. ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමා සම්ප්‍රදාය අනුව එහිදී කටයුතු කරන බවයි. තමන් අගමැති ධුරයට පත් කරන තැනැත්තා ජනාධිපතිවරයා සමග වැඩ කළ හැකි අයෙකු විය යුතු වීම සම්ප්‍රදාය බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ. ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමන්ට රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කළ නොහැකි අතර, බහුතරය ඇත්නම් එක්සත් ජාතික පක්ෂයට වෙනත් අයෙකු රැගෙන පැමිණිය හැකි බවයි. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සිදුවු මහා පරිමාණ වංචා දුෂණ ගැන තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, ඒ පිළිබඳව සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනයක් කරන බවත්, ජනාධිපතිවරයා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ. https://www.youtube.com/watch?v=b07afuThywY