II ලෝක යුධ සමයේ ඝාතනයන් කළ ජර්මන් ජාතිකයෙකුට නඩු

II ලෝක යුධ සමයේ 36,000 ක් ඝාතනය කළ 95 හැවිරිදි ජර්මන් ජාතිකයෙකුට චෝදනා ගොනු කෙරේ

by Staff writer 24-11-2018 | 8:15 AM

දෙවන ලෝක යුධ සමයේ නාසි කඳවුරුවල රඳවා සිටි සිරකරුවන් 36,000 ක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජර්මන් ජාතික ආරක්ෂක අංශ සාමාජිකයකුට එරෙහිව නඩු පැවරීමට එරට අධිකරණයක් පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙ වන විට 95 වන වියේ පසුවන හාන්ස් එච් නැමැති හිටපු ජර්මානු ජාතික ආරක්ෂක නිලධාරියකුට එරෙහිව මෙලෙස නඩු පවරා ඇති බවයි. 1939 - 1945 අතර කාලයේ දෙවන ලෝක යුධ සමයේ ඔස්ට්‍රියාව ආශ්‍රිතව පිහිටා තිබු මවුත්තවුසන් සිරි කඳවුර ආශ්‍රිතව රඳවා සිටි සිරකරුවන් පිරිසක් මෙලෙස ඝාතනය කර ඇති බව සඳහන් විය. අදාළ කාලසිමාව තුළ කඳවුරේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ මෙම පුද්ගලයාගේ මෙහෙයවීමෙන් සිරකරුවන් 36,223 ක් පමණ ඝාතනය වී ඇතැයි සැක කරන බව එරට නීති අංශ අධිකරණයට කරුණු ගොනු කර ඇත. වෙඩි තැබීම්, විෂ වායු ආඝාණයට සැලැස්වීම, විෂ සහිත එන්නත් ලබාදීම සහ කුසගින්නනේ තැබීම වැනි අමානුෂික ක්‍රමවේද මගින් මෙම පිරිස ඝාතනය කර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.