ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්...!

උ /පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ දීමනා මෙතෙක් ලබාදී නැති බවට ගුරු සංගමයෙන් චෝදනා

by Staff writer 24-11-2018 | 7:18 AM

COLOMBO (News 1st) - 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට සහභාගී වූ ගුරුවරුන්ට හා නිලධාරීන්ට මෙතෙක් ඊට අදාළ දීමනා ගෙවා නොමැති බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, මේ පිළිබඳව විභාග කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරමින් සිහි කැඳවූ බවය. මාස තුනකට වැඩි කාලයක් ප්‍රමාද කර ඇති මෙම දීමනා නොගෙවීම හේතුවෙන් ඊට සහභාගී වූ ගුරුවරුන් දැඩි දුෂ්කරතාවට පත් ව ඇති බව ද ඔහු සඳහන් කළේ ය. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී පූජිත මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ දිනවල එම දීමනා ගෙවීමේ කටයුතු සිදු කරන බවයි. නොවැම්බර් මස 30 වන දින වන විට එම දීමනා ගෙවා අවසන් කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.