by Hashini De Mel 23-11-2018 | 7:28 PM
COLOMBO (News 1st) - අවුරුදු ගණනක් මහිංගනයේ ජනතාව අලිවැටක් ඉල්ලා සිටියත් තවමත් එය ලබාදීමට අසමත්වී තිබේ.
එහි ප්‍රතිඵලය වූයේ ඊයේ රාත්‍රියේත් කුඩා දැරියන් දෙදෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමයි.
දශක ගණනාවක සිට මෙරට පාලකයින්ට ස්ථිර පිළියමක් ලබාදීමට නොහැකි වූ වන අලි උවදුරෙන් ඊයේ රාත්‍රියේත් තව ත් දරුවන් දෙදෙනෙකුගේ ජීවිත බිලිවිණි.
මහියංගන, මාපාකඩ වන අලි ප්‍රශ්නය ගැන අප එදා පෙන්වා දුන්නත් අද මේ මොහොත වනවිටත් ජීවිත සුරක්ෂිත කර ගන්නට නොහැකිවී ඇත.
මාපාකඩ රෝහණ ගම්මානයේ පිහිටි මේ නිවසට ඊයේ රාත්‍රියේ වන අලි පැමිණියේ වගා කිරීමට ගෙනා බිත්තර වී තොගයක් ඉලක්ක කරගෙනයි.
නිවස හිමි රමේෂ් තම දියණියන් සිව්දෙනා සහ මව හැර ගිය ඥාති දියණියකට ද මේ කුඩා නිවසේ රැකවරණ ලබාදී තිබුණි.
පාසැල් වාර විභාගය නිසා දියණියන් වේලාසනින්ම නින්දට ගොස් සිටි අතර වන අලියා නිවසට පහර දුන්නේ ඔවුන් තද නින්දේ පසුවෙද්දීය.
බිත්තර වී ගබඩාකර තිබූ ස්ථානයෙන් නිවසේ බිත්තිය බිඳ වන අලි නිවසට ඇතුළුවෙත්ම මේ මවට කළ හැකි වූයේ සිය දිණියන් ද සමගින් නිවසින් පළා යාමයි.
එහෙත්...
11 හැවිරිදි උම්මු රසියා සහ 8 හැවිරිදි ෆාතිමා රිස්කාන් වන අලියාගේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විණි.
පුංචි රසියාගේ මව ඔවුන් හැරගොස් බොහෝ කලක්ගත වන අතර ඇගේ පියා සිටින්නේ ද විදේශ ගතවයි.
මහියංගනය මැදඔය දඹගොල්ල පගරගම්මන රෝහණ මාපාකඩ මෙම ගම්මාන කිහිපයේ පසුගිය 7 වෙනි දා සිට වන අලි විනාශකර ඇති නිවාස ගණන 32 කි.
ගම්වැසියන් අද 20 කණුව ප්‍රදේශයෙන් මහියංගන - බදුල්ල මාර්ගය අවහිර කමින් කියා සිටියේ දිගින් දිගටම විවිධ පොරොන්දු ලබා දුන්නත් තවමත් ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකිවී ඇති බවයි.
උද්ඝෝෂකයින් මාර්ගය අවහිර කිරීමත් සමග පැමිණි වනජීවි නිලධාරීන් වන අලියා අල්ලා වෙනත් ප්‍රදේශයකට ගෙනගොස් දමන බව ප්‍රකාශ කළේ ය.
වන අලි ප්‍රහාරයෙන් මිය ගිය දැරියන් දෙදෙනගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කරනු ලැබිණි.
අකාලයේ අහිමිවන මේ ජීවිතවලට වගකියන්නේ කවු ද?