කථානායකගේ තීරණයට 121 දෙනෙක් පක්ෂ වෙති

කථානායකගේ තීරණයට 121 දෙනෙක් පක්ෂ වෙති

by Staff writer 23-11-2018 | 12:28 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. කථානායකවරයා පාර්ලිමේන්තුව ආරම්භයේදී තේරීම් කාරක සභාව සඳහා පත් කරනු ලැබූ නියෝජිතයින්ගේ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. කථානායකවරයා ඉදිරිපත් කළ ලැයිස්තුවට පහත පරිදි වේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය
  • දිනේෂ් ගුණවර්ධන මහතා
  • එස්.බී. දිසානායක මහතා
  • නිමල් සිරිපාල ද සිල්වා මහතා
  • මහින්ද සමරසිංහ මහතා
  • විමල් වීරවංශ මහතා
එක්සත් ජාතික පෙරමුණ
  • ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
  • රවුෆ් හකීම් මහතා
  • රිෂාඩ් බදියුදීන් මහතා
  • මනෝ ගනේෂන් මහතා
  • පාඨලී චම්පික රණවක මහතා
දෙමළ ජාතික සන්ධානය
  • මාවෙයි සේනාධිරාජා මහතා
ජනතා විමුක්ති පෙරමුණ
  • විජිත හේරත් මහතා
කථානායකවරයා තේරීම් කාරක සභාවට පත් කළ නියෝජිතයින්ගේ නම් ඉදිරිපත් කිරීමෙන් පසුව ආණ්ඩු පක්ෂයට වැඩි නියෝජිතයින් පිරිසක් ලබා දිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, බහුතරයක් නොමැති නිසාත් ආණ්ඩුවක් නොමැති නිසාත් එලෙස වැඩි නියෝජිතයින් පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා දිය නොහැකි බව ය. තේරීම් කාරක සභාව සඳහා නමින් ඡන්ද විමසීමක් ලබා දෙන ලෙසට අනුර කුමාර දිසානායක මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය. කථානායකවරයා සම්බන්ධයෙන් ද ගැටලු ඇත්නම් ඔහුට එරෙහිව ද ඡන්ද විමසීමක් පැවැත්වීමට අනුර කුමාර දිසානායක මහතා මෙහිදී යෝජනා කළේ ය. අනතුරුව විමල් වීරවංශ මහතා ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු සභාව වර්ජනය කරන බවට ප්‍රකාශ කිරීමත් සමග ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු සභා ගර්භයෙන් පිටතට පැමිණියහ. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද නමින් ඡන්ද විමසීමක් පවත්වන ලෙස ඉල්ලීමක් කළේ ය. ඒ අනුව කථානායකවරයා විසින් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්ද විමසීම සිදු කළේ, ආණ්ඩු පක්ෂය සභාවේ නොමැති පසුබිමකදී ය. තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත් කරමින් කථානායකවරයා ඉදිරිපත් කළ නම් ලැයිස්තුවට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු අතර විපක්ෂය ලැබුණු ඡන්ද සංඛ්‍යාව 0කි. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළේ ය. ලබන 27 සහ 29 යන දෙදින පාර්ලිමේන්තුව යළි කැඳවීමට නියමිත ය.