කටුනායක පෞද්ගලික බස් වර්ජනයක්

කටුනායක මාර්ග කිහිපයක පෞද්ගලික බස් වර්ජනයක්

by Staff writer 23-11-2018 | 4:41 PM

COLOMBO (News 1st) - ගුවන්තොටුපොළ - මීගමුව පෞද්ගලික බස් රථ රියැදුරෙකුට පහරදීමකට විරෝධය පළ කරමින් මාර්ග අංක 187 ගුවන්තොටුපොළ - කොටුව ඇතුළු මාර්ග කිහිපයක පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

සමස්ත ලංකා බස් රථ ධාවකයින්ගේ සමිති සම්මේලනයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ලැම්බට් මදුරගේ මහතා සඳහන් කළේ, ඊයේ සිදු කළ මෙම පහරදීමෙන් තුවාල ලැබු රියැදුරා මේ වනවිට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. ඔහුට පහරදී ඇත්තේ, සුඛෝපබෝගී බස් රථ හිමිකරුවෙකු බව සභාපතිවරයා සඳහන් කළේ ය. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අද උදෑසන සිට මාර්ග අංක 145 -1 ගුවන්තොටුපොළ - වේයන්ගොඩ, මාර්ග අංක 270 ගුවන්තොටුපොළ - ගම්පහ, මාර්ග අංක 240/3 ගුවන්තොටුපොළ - මීගමුව සහ මාර්ග අංක 788 කටුනායක - රද්දොළුගම යන මාර්ගවල සේවකයින් බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇති බව ලැම්බට් මදුරගේ මහතා පැවසීය. මේ පිළිබඳව කටුනායක පොලීසියෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු පැවසුවේ, පහරදීමට සම්බන්ධ බස් රථ හිමිකරු සිය බස් රථය ද රැගෙන ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි. පොලීසිය සඳහන් කළේ, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.