by Staff writer 22-11-2018 | 8:46 PM
COLOMBO (News 1st) - රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට පැමිණි ජාතික ආර්ථික සභාවේ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා කරුණු පැහැදිලි කළේ ය.
මහාචාර්ය ලලිත් සමරකෝන් සහ මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් මේ සතියේ කැබිනට් රැස්වීමට සහභාගී වී රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කර තිබේ.
සමරකෝන් මහතා කියා සිටියේ, රටේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය කෙටි කාලයක් තුළ ඇති වූ දෙයක් නොවන බව ය.
2015 සිට මේ දක්වා කාල සීමාවේ රටේ ආර්ථිකයට ප්‍රබල බලපෑම් එල්ල කළ සිදුවීම් ගණනාවක් වාර්තා විය.
මහ බැංකුවේ බැඳුම්කර වංචාව නිසා සිදු වූ පාඩුව තවමත් නිශ්චිතව ගණන් බැලීමට නොහැකි වී තිබෙන අතර ආර්ථික විශේෂඥයින්ගේ මතය එහි බලපෑමෙන් වෙළෙඳපොළේ පොළී අනුපාත පමණක් 3%කින් පමණ වැඩි වූ බව ය.
මේ වංචාව නිසා සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු පොදු අරමුදල්වලට ද බරපතල පාඩු සිදු වූ අතර ආයෝජන විශ්වාසය ද අභියෝගයට ලක් විය.
ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගම 2016 සහ 2017 මූල්‍ය වර්ෂයේ පමණක් ලැබූ පාඩුව රුපියල් බිලියන 28.2කි.
ගත වූ වසර කිහිපය තුළම සමාගම ලැබූ පාඩුව ද එක්වූයේ රටේ ණය බරට ය.
මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු ඇතැම් ආයෝජන ව්‍යාපෘති සඳහා වැඩි පොළියකට වාණිජ ණය ලබා ගැනීමට ගත් ක්‍රියාමාර්ග ද සෘජුව රටේ ආර්ථිකයට බලපෑම් ඇති කර තිබේ.
පසුගිය ජුලි මාසය වන විට මූඩීස් ණය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව B මට්ටමේ සිට B1 දක්වා පහළ දැමීමට පියවර ගැනුණේ ද මේ පසුබිම තුළ ය.
දැන් යළිත් B1 සිට B2 දක්වා ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහළ දමා තිබේ.
ජාතික ආර්ථික සභාවේ ලේකම්වරයා පෙන්වා දෙන්නේ, ආර්ථිකයේ සියලු කරුණු මෙම පහළ දැමීමේදී විධිමත් ලෙස සැලකිල්ලට ගෙන නොමැති බව ය.
කෙසේ වෙතත් ණය ආපසු ගෙවීමේ අභියෝගයකට රට මුහුණ දී නැතැයි ඔහු අවධාරණය කළේ ය.