චෝදනාවලට ලක් වූ පුද්ගලයින්ටම යළි තනතුරු දෙන්නේ ඇයි?

by Staff writer 22-11-2018 | 9:09 PM
COLOMBO (News 1st) - ලබන වසරේ ජනවාරි සිට මාස 4ක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට ඊයේ කැබිනට් අනුමැතිය ලැබී තිබූ අතර එය නීති කෙටුම්පත් අංශ වෙත යැවීමට පියවර ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ විය. මෙම මාධ්‍ය හමුවේදී චෝදනාවලට ලක් වූ නිලධාරීන්ට යළි තනතුරු ලබා දෙන්නේ ඇයි දැයි මාධ්‍යවේදීහු විමසා සිටියහ. ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවේ, ජනාධිපති ලේකම්වරයා විසින් එවනු ලැබූ චක්‍රලේඛයට අනුව මෙම පත් කිරීම් සිදු කර ඇති බව ය. මූල්‍ය අපරාධ චෝදනා එල්ල වී ඇප මත මුදා හැර සිටින ආචාර්ය නාලක ගොඩහේවා මහතා රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරයට පත් කිරීම පිළිබඳව අපි ඊයේත් ප්‍රශ්න කළෙමු. ඔහු ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ සමයේ ඇතැම් සමාගම්වල කොටස් මිල සැක සහිත ලෙස සීඝ්‍රයෙන් ඉහළ යාම හා ඒ හා බැඳුණු පම්පින් ඇන්ඩ් ඩම්පින් ලෙස හැඳින්වුණ කුප්‍රකට කොටස් වෙළෙඳපොළ වංචා සිදු වූ බව කවුරුත් දන්නා කරුණකි. 2012 අගෝස්තු 27 වන දා ඩේලි මිරර් පුවත්පත වාර්තා කළ කරුණුවලට අනුව කොටස් වෙළෙඳපොළ අයථා ගනුදෙනු සම්බන්ධයෙන් පසුව චෝදනා එල්ල වූ සිට්රස් ලෙෂර් සමාගමට අනුබද්ධ වස්කඩුව බීච් රෙසෝට් සමාගමේ 10 වන හා 16 වන විශාලතම කොටස්කරු ලෙස ගොඩහේවා මහතා කටයුතු කර තිබේ. ඔහු තවත් ප්‍රශ්නගත සමාගමක් වූ කලම්බු ලෑන්ඩ් ඇන්ඩ් ඩිවලොප්මන්ට් සමාගමේ ද 7 වන විශාලතම කොටස්කරුවායි. දිලිත් ජයවීර සහ වරුණි අමුණගම යන මහත්ම මහත්මීන් සම්බන්ධ දිවැස ෆයිනෑන්ස් සමාගමේ ද සභාපතිවරයා ලෙස ආචාර්ය නාලක ගොඩහේවා මහතා කටයුතු කර ඇතැයි ඩේලි මිරර් වාර්තාවේ සඳහන් විය. කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුවට සම්බන්ධ වෙමින් රාජපක්ෂ පවුලේ සමාජිකයෙකුට විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමේ අතරමැදියෙකු වීම පිළිබඳව ද ඔහුට චෝදනා එල්ල වී තිබේ. පසුගිය කාලයේ අනාවරණය වූයේ, ලංකා හොස්පිටල්ස් සමාගමේ කොටස්වලින් 29% ක් විකුණා දැමීමේ ප්‍රශ්න ගත ගනුදෙනුවට ද ඔහු සම්බන්ධ බව ය. 2015 රාජපක්ෂ පාලනය බිඳ වැටීමෙන් අනතුරුව ගොඩහේවා මහතා පිළිබඳ විමර්ශන ආරම්භ වූ අතර විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවේ මුදල් අවභාවිතය පිළිබඳව පරීක්ෂණයක් සිදු විය. ඒ තරුණ පිරිස් අතර කොටස් වෙළෙදපොළ අයෝජනය ප්‍රචලිත කිරිමේ වැඩපිළිවෙළකට වෙන් කර තිබූ මුදල් නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත වෙනත් කාර්යක් සඳහා මුදා හැරීම සම්බන්ධයෙනි. මෙම කරුණු සම්බන්ධයෙන් ගොඩහේවා මහතාට නඩු කිහිපයක් ද ගොනු වී තිබෙන අතර දැනට ඔහු සිටින්නේ ඇපමත මුදාහැරි සැකකරුවෙකු ලෙස ය. ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ පත් කිරීමට සමාන තවත් කුප්‍රකට පත් කිරීමක් පසුගිය දිනවල සිදු කෙරිණි. ඒ, චෝදනා රැසක් එල්ල වී තිබූ කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති ධූරයට පත් කිරීමයි. ඒ සම්බන්ධයෙන් මතු වූ බරපතල ජනතා අප්‍රසාදය හමුවේ තනතුරින් ඉල්ලා අස්වීමට චන්ද්‍රසේන මහතා පියවර ගත්තේ ය. චෝදනාවලට ලක්වූවන් යළි යළිත් ඉහළ තනතුරුවලට පත් කිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක් ද?