ඉන්දීය-ඔස්ට්‍රේලියා 20යි 20 පළමු ජය ඔස්ට්‍රේලියාවට

ඉන්දීය - ඔස්ට්‍රේලියා 20යි 20 පළමු ජය ඕස්ට්‍රේලියාවට

by Staff writer 22-11-2018 | 7:14 AM
COLOMBO (News1st) : ඉන්දීය - ඔස්ට්‍රේලියා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඩක්වර්ත් හා ලුවිස් න්‍යාය මත ලකුණු 4 කින් ජය ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හීදී පැවති තරගය අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පන්දුවාර 17කට සීමා විය. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවාසානයේ කඩුලු 4 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 158කි. ආරම්භක පිතිකරු නායක එරෝන් ෆින්ච් ලකුණු 27 ක් රැස් කළේ ය. ක්‍රිස් ලීන් පන්දු 20 කදී ලකුණු 37 යි. ඔහුගේ ඉණිමට එක් හතරේ පහරක් සහා හයේ පහර 4 ක් ඇතුළත් ය. අනතුරුව පිටියේ ස්ථාවර වූ ග්ලේන් මැක්ස්වෙල් සහ මාර්කස් ස්ටොයිනිස් එක්ව ඔස්ට්‍රේලියා ඉණිමේ සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු ලකුණු සබඳතාව ලකුණු 78 කි. ග්ලේන් මැක්ස්වෙල් පන්දු 24ක දී හයේ පහර 4ක් සමගින් ලකුණු 46ක් ලබා රැස් කළේ ය. නොදැවී කඩුල්ලේ රැඳී සිටි මාක් ස්ටොයිනිස් පන්දු 19 කදී ලකුණු 33 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී කුල්දීප් යාදේව් කඩුළු 2 ක් දවා ගත් අතර ජස්ප්‍රිට් බුම්රා හා කලීල් අහමඩ් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේ ය. අනතුරුව පිළිතුරු ඉණිම හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගත්තේ කඩුලු 7ක් දැවී ලකුණු 169ක් පමණි. නමුත් ඒ වන විට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය සඳහා ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ ලකුණු 174කි. ආරම්භක පිතිකරු ශිකර් ධාවාන් සිය නවවන 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 76 ක් රැස් කළේ ය. රිශාබ් පාන්ට් ලකුණූ 20 ක් රැස් කළ අතර දිනේෂ් කාර්තික් ලකුණු 30 යි. ඉන්දීය ඉනිමේ අවසන් පන්දු වාරයේ දී ජයග්‍රහණය සඳහා ඔවුන්ට ලකුණු 13 ක් අවශ්‍ය විය. ඒ වන විට ඉන්දියාව සතුව තවත් කඩුලු 5ක් ඉතිරිව තිබුණ අතර ඉන්දීය පිතිකරු බලඇණියට එය ඉතා ලෙහෙසි ඉලක්කයක් වූව ද මාර්කස් ස්ටොනිස් පිට පිට පන්දු දෙකක දී කඩුලු දෙකක් දවා ගනිමින් ඔවුන්ට පීඩනයක් එල්ල කිරීමට සමත්වීම විශේෂත්වයකි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඇඩම් සම්පා ලකුණු 22කට කඩුලු දෙකක් දවා ගත් අතර ඔහු තරගයේ වීරයා ලෙසින් නම් කෙරිණ.