සෞදිය ගැන ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

සෞදි අරාබිය ගැන ජනපති ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

by Staff writer 21-11-2018 | 11:40 AM
(News 1st) - මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය පිළිබඳව සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු දැන සිටින්නට ඇති වුවත් එරට සමග ස්ථාවර සබඳතා පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කළේ ය. ප්‍රකාශයක් නිකුත් කරමින් ජනපති ට්‍රම්ප් සඳහන් කළේ, ජමාල් ඛෂෝගි ඝාතනයට අදාළ සියලු කරුණු කෙදිනකවත් දැනගත නොහැකි වනු ඇති බව ය. ජමාල් ඛෂෝගි ඝාතනය හමුවේ සෞදි අරාබියට එරෙහිව දැඩි සම්බාධක පනවන ලෙසට අමෙරිකානු මන්ත්‍රීවරුන්ගෙන් දැඩි බලපෑම් එල්ලවීම මධ්‍යයේ ජනපති ට්‍රම්ප් මේ බව පැවසීම විශේෂත්වයකි. සිය තීරණය සාධාරණීකරණය කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, අඥානයන් ලෙස සෞදි අරාබිය සමග පවතින වෙළෙඳ ගනුදෙනු අවලංගු කළ හොත් රුසියාව සහ චීනය ඉන් වාසි අත් කර ගනු ඇති බව ය. ජමාල් ඛෂෝගි ඝාතනය හමුවේ සෞදි අරාබිය සම්බන්ධයෙන් ගන්නා පිළිවෙත් පිළිබඳව ජනපති ට්‍රම්ප් මෙතෙක් අනුගමනය කළේ දෙබිඩි පිළිවෙතකි. ජනපති ට්‍රම්ප් සෞදි අරාබිය පිළිබඳව සිය තීරණය මෙලෙස ප්‍රකාශයට පත් කළේ, ජමාල් ඛෂෝගි ඝාතනය සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරුගේ අණ මත සිදු කර ඇතැයි අමෙරිකානු මධ්‍යම බුද්ධි අංශය පවසා ඇති පසුබිමකදී ය. මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබියට එරෙහිව පියවර නොගැනීම හමුවේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ද ජනපති ට්‍රම්ප් ලක් විය.