by Sagarika Chathumali 21-11-2018 | 7:54 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් මතුවූ තේරීම් කාරක සභාව සඳහා තමන් සාමාජිකයින් 7 දෙනෙකු නම් කළ බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාට දන්වා තිබේ.
මේ සඳහා නම් කර ඇත්තේ දිනේෂ් ගුණවර්ධන. එස්.බී. දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, තිලංග සුමතිපාල හා උදය ගම්මන්පිල යන මහත්වරුන් ය.
මීට පෙර 2004 මහ මැතිවරණයෙන් පසුවත් 2015 ජනාධිපතිවරණයෙන් පසුවත් සුළුතර ආණ්ඩු පැවති බවත් එම අවස්ථාවේ තේරීම් කාරක සභාවේ බහුතර සාමාජිකයින් ආණ්ඩු පක්ෂයට ලබාදුන් බවත් දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාට යැවූ ලිපියේ සිහිපත් කර තිබේ.
එහි දැක්වෙන්නේ ඒ අනුව ආණ්ඩු පක්ෂය ලෙස තමන් බහුතර සාමාජික ගණනක් නම් කළ බවයි.
කාරක සභාවේ සාමාජික ගණන 12 දෙනෙකු ඉක්මවා යා යුතු යැයි තීරණය කරන්නේ නම් ඒ බව දැනුම් දෙන ලෙසත් එවිට අමතර සාමාජිකයින් නම් කළ හැකි බවත් ගුණවර්ධන මහතා කථානායකවරයාට දන්වා තිබේ.