තේරීම් කාරක සභාවට නියෝජිතයින් නම් කිරීම අද

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පක්ෂ කිහිපයක නියෝජිතයින් නම් කිරීම අද

by Staff writer 21-11-2018 | 1:34 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂ නියෝජිතයින් පත් කිරීම අද සිදු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි. අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් අතර සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම නම් කථානායක කාර්යාලය වෙත භාර දෙන බව ය. තම පක්ෂයෙන් තේරීම් කාරක සභාවට පත් කරන සාමාජිකයින් පිළිබඳව අද දිනයේදී කථානායකවරයාට දැනුම් දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් ද තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් අද දිනයේදී පත් කිරීමට නියමිත ය. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සියලු පක්ෂවල නියෝජිතයින්ගේ නම් ලැබුණු පසු කථානායකවරාය විසින් එම කාරක සභාව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරනු ඇති බව ය. ලබන සිකුරාදා එම කාරක සභාව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. තේරීම් කාරක සභාව යනු ආංශික අධික්ෂණ කාරක සභාවල සහ අමාත්‍යංශ උපදේශන කාරක සභාවල සංයුතිය, සාමාජික සංඛ්‍යාව, කර්තව්‍ය සහ ඝණ පූර්ණය තීරණය කිරීම වෙනුවෙන් පත් කරන විශේෂ කාර්යන් සඳහා වන කාරක සභාවකි. කථානායකතුමාගේ සභාපතිත්වයෙන් සෙසු සාමාජිකයින් 12 දෙනෙකු සහිතව පත් කරන මෙම කාරක සභාව මගින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා 12ක පත් කිරීම් සිදු කෙරේ. මෙම කාරක සභා අතරට පොදු ව්‍යාපාර කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව ද ඇතුළත් ය.