පහළ යාන් ඔය ව්‍යාපෘතිය නිසා ජලයෙන් යට වන තවත් ගම්මානයක්

by Staff writer 21-11-2018 | 11:01 AM
COLOMBO (News 1st) - පහළ යාන් ඔය ව්‍යාපෘතිය පසුගිය වසර කිහිපය පුරාම මහත් මත බේදයට ලක්වූවකි නමුත් අද වන විට එහි ජලය පිරවීමේ කටයුතු සිදු වෙමින් පවතියි. යාන් ඔය ව්‍යාපෘතිය ආරම්භයේ සිටම එහි බලපෑම එල්ලවන ප්‍රදේශයේ ජනතාවගෙන් ඊට එල්ල වුණේ දැඩි විරෝධයකි. මේ හේතුවෙන් ජලාශ්‍රයේ බැම්මේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට ද අපේක්ෂිත කාලයට වඩා වැඩි කාලයක් ගත කිරීමට එහි ඉදිකිරීම් සමාගමට සිදු විය. මෙම ගැටලුව පදනම් කර ගනිමින් නිව්ස්ෆස්ට් ගම්මැද්ද ප්‍රාදේශීය මණ්ඩපයක් පැවැත් වූයේ, එවක වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ගම්වාසීන් මතු කළ ප්‍රධාන ගැටලුවක් වූයේ, අපේක්ෂිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රදේශයක් ජලයෙන් යට වීමේ අවදානම සහ වන අලි ගැටලුවයි. එදා ගම්වැසියන් මතු කළ ගැටලුවේ යථාර්ථය අද වන විට මැනවින පසක්වී අවසන්. යාන් ඔය ජලාශ්‍රයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ව්‍යාපෘතිය ආරම්භයේදීම ගම්මාන කිහිපයක් ජලයෙන් යටවන බව අනතුරු ඇඟවීම් සිදු කළේ ය. ඒ මහසොරොව්වැව, හාපිටියාව, පඹුරු ගස්වැව, දික්වැව, කුඹුක්වැව, පෙත්තෑව, පුහුදිවුල, අලියාකඩ, වාගොල්ලාකඩ යන ගම්මානයි. එම ගම්මානවල ජනතාවට වන්දි මුදල් ලබා දී එම ප්‍රදේශයෙන් ඉවත් කෙරිණි. යාන් ඔය ජලාශ්‍රයේ ඉදිකිරීම් අවසන් වුවද මේ දිනවල ඇද හැළෙන අධික වර්ෂාපතනයත් සමග ජලාශ්‍රයේ ජල මට්ටම වැඩිවී මුලින් අවදානම් කලාප ලෙස හඳනා නොගත් ප්‍රදේශ ද ජලයෙන් යට වෙමින් තිබේ. මාවතවැව ගම ඇතුළු ගම්මාන කිහිපයක ජනතාවට මේ හේතුවෙන් අත්විඳින්නට සිදුව ඇත්තේ, දැඩි දුෂ්කර තත්ත්වයකට ය. පවුල් 80ක් පමණ ජීවත් වන මාවතවැව ගම්මානයේ පවුල් 30කට පමණ වන්දි ලබා දී ඉවත් කෙරුණ ද සෙසු පවුල්වලට එලෙස වන්දි ලබා දී එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත.