සා/පෙළ අයැදුම් පත්වල ගැටලු ඇත්නම් 1911 අමතන්න

සා/පෙළ අයැදුම් පත්වල ගැටලු ඇත්නම් 1911 අමතන්න - විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි

by Staff writer 20-11-2018 | 4:20 PM
COLOMBO (News 1st) - මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විභාග ප්‍රවේශ පත්‍රවල යම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව 1911 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, පසුගිය සිකුරාදා දින සියලු අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කළ බව ය. පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර පාසල් වෙත ලබා දී ඇති අතර පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ ලිපිනයන් වෙත යොමු කර ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය. ඉදිරි දින කිහිපය තුළ පෞද්ගලික අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ද ලබා ගත හැකි ය. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් 656,641 දෙනෙකු අයැදුම් කර තිබේ. සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 3 වන දින ආරම්භ වන අතර එය දෙසැම්බර් 12 වන දින දක්වා පැවැත්වීමට නියමිත ය.