මොකක් ද මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව?

මොකක් ද මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව?

by Staff writer 20-11-2018 | 7:41 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයින් පත් කිරීම මේ වන විට සංවාදයට ලක්වී ඇති කරුණක්. සිකුරාදා පාර්ලිමේන්තුවේ කටයුතු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම කමිටුව පත් කර ගැනීම ප්‍රධාන සාධකයක් බවට පත් වී තිබේ. මොකක් ද මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව? පාර්ලිමේන්තුවේ සැසිවාරය අත්හිටුවීමට ජනාධිපතිවරයා පසුගිය ඔක්තෝබර් 27 වන දින ගත් ක්‍රියාමාර්ගයත් සමග පාර්ලිමේන්තුවේ එතෙක් පැවති සියලු ම කාරක සභා අහෝසි විය. පාර්ලිමේන්තු කටයුතු, ස්ථාවර නියෝග, වරප්‍රසාද, ව්‍යවස්ථාදායක, රාජ්‍ය ගිණුම් සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා ඇතුළු ආංශික අධීක්ෂණ සහ උපදේශක කාරක සභාවල සංයුතිය, සාමාජික සංඛ්‍යාව, ඒවායේ කර්තව්‍ය සහ ඝණ පූරණය තීරණය කරන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ය. ඒ සම්බන්ධව සිය මතය හැකි පමණ ඉක්මනින් පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ කාරක සභාවල සේවය කිරීම සඳහා මන්ත‍්‍රීවරුන් නම් කිරීම ද මෙම කාරක සභාව විසින් සිදු කරනු ලබයි තේරීම් කාරක සභාවේ සභාපති ධූරය දරන්නේ කථානායකවරයායි. දේශපාලන පක්ෂවල නායකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් ද ඇතුළත්ව මන්ත‍්‍රීවරු 12 දෙනෙකු එහි සාමාජිකයින් ලෙස පත් කළ යුතු වේ. මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසන්නේ, තමන් ආණ්ඩු පක්ෂය බැවින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බහුතර සාමාජිකයින් තම පාර්ශවය නියෝජනය කළ යුතු බව ය. ඊට එක්සත් ජාතික පක්ෂය විරෝධය පළ කර තිබේ. සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, සිකුරාදාට පෙර සාමාජිකයින්ගේ නම් කථානායකවරයාට දන්වන බව ය. හෙට කථානායකවරයා සමග සාකච්ඡා කර තම සාමාජිකයින් නම් කරන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම කවුරුන් ද යන්න අදාළ සාකච්ඡාවේදී කථානායකවරයාගෙන් පැහැදිලි කර ගන්නා බව ය. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරුන් තේරීම් කාරක සභාවට නම් කර තිබේ.