බස්නාහිර පළාත් සභාවේ අයවැය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹූ මන්ත්‍රීවරු මෙන්න...

by Staff writer 20-11-2018 | 8:21 PM
COLOMBO (News 1st) - බස්නාහිර පළාත් සභාවේ අයවැය ලේඛනය ඊයේ සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සභාවේ ඇති පරිගණකයකින් අසභ්‍ය දර්ශන නැරඹීම සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයා විමර්ශනයක් ආරම්භ කර තිබේ. රුපියල් බිලියන හය හමාරකට අධික මුදලක් වියදම් කර බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකළ බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ ප්‍රථම සභා රැස්වීම ඊයේ පැවැත්විණි. අති නවීන අංගවලින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ සභා ශාලාව තුළ මන්ත්‍රීවරුන්ට වෙනම ඉන්ටර්නෙට් පහසුකම්, නවීන පරිගණකයක් පවා ලබා දී තිබේ. රුපියල් 640,000 බැගින් පුටු 150ක් මිලදී ගැනීමට සූදානම් වූයේ ද මෙම ගොඩනැගිල්ලට ය. ලබන වසර සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම ඊයේ පළාත් සභාවේ ප්‍රධාන කාර්ය බවට පත් වී තිබිණි. ප්‍රධාන අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු අසභ්‍ය දර්ශන නරඹමින් සිටිනු දැක ගත හැකි විය. මෙසේ දර්ශන නරඹමින් සිටි ස්ථානයේ රැඳී සිටියේ ගුණසිරි ජයනාත්, සුමිත් සොයිසා සහ කීර්ති කාරියවසම් යන සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනායි. 2012 වසරේදී ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මෙවැනි සිද්ධියක් වාර්තා විය. එහිදී අසභ්‍ය දර්ශන නරඹා තිබුණේ, ප්‍රාන්තයේ සමූපකාර අමාත්‍ය ලක්ෂ්මන් සවේදී, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සී.සී. පටේල් සහ එම පළාතේ වරාය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂ්ණා පලේමාර් යන තිදෙනා ය. ඔවුන් තමන්ගේ පෞද්ගලික ජංගම දුරකතනවලින් සභාව තුළ සිටියදී මෙම අසභ්‍ය දර්ශන නරඹා තිබිණි. මොවුන්ට ප්‍රබල ජනතා විරෝධයක් එල්ල වූ අතර විරෝධය හමුවේ තිදෙනාටම ඉල්ලා අස්වීමට සිදු විය.