පළාත් රැසකට අද මහ වැසි..

පළාත් රැසකට අද මහ වැසි..

by Staff writer 20-11-2018 | 6:41 AM
COLOMBO (News 1st) : උතුර, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 150 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පැවසුවේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවු වැසි අපේක්ෂා කරන බවයි. මුලතිව් සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල අද සහ හෙට දිනවල ධීවර කටයුතුවලින් වැළකී සිටින්නැයි ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, මේ වන විට එම ප්‍රදේශ ආශ්‍රිතව ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය සියලු යාත්‍රා ගොඩබිම වෙත කැඳවා ඇති බවයි.ෙ මේ අතර ගාල්ල ප්‍රදේශයට ඊයේ පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මාර්ග සහ පහත්බිම් රැසක් ජලයෙන් යට වී තිබේ. අප වාර්තාකරු පැවසුවේ හිරිඹුර, බෙලිගහ, කහදූවවත්ත, රිච්මන්ඩ් කන්ද, කරාපිටිය යන මාර්ග මෙලෙස ජලයන් යටවූ බවයි. මේ වන විටත් ගාල්ල ප්‍රදේශයට වර්ෂා තත්ත්වය පවතින බව ද අප වාර්තාකරු පැවසී ය.