නබි නායකතුමාගේ ජන්ම දිනය අදයි

ඉස්ලාම් බැතිමත්හු නබි නායකතුමන්ගේ ජන්ම දිනය හරසරින් සමරති

by Staff writer 20-11-2018 | 6:38 AM
COLOMBO (News 1st) : ඉස්ලාම් ආගමික නායක නබිනායක තුමාගේ ජන්ම දිනය අදට යෙදී තිබේ. ආමිනා තුමියට හා අබ්දුල්ලා යන අයට දාව උපන් මුහම්මද් හෙවත් නබිනායක තුමාගේ උපත සිදුවූයේ ක්‍රිස්තු වර්ෂ 571 දී සෞදි අරාබියේ මක්කම නගරයේදීයි. කුඩා කල නිසි අධ්‍යාපනයක් නොලද ඔහු තරුණ වියේදී එඩේර ජීවිතයක් ගත කළ අතර පසුව ව්‍යාපාරිකයෙකු ලෙස විවිධ ප්‍රදේශවල සංචාරය කළේ ය. අන් අය අතර විශ්වාස ගොඩ නගාගත් එතුමන් අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් ද ප්‍රචලිත විය. මුහම්මද් නබිතුමන් සුවිශේෂි කරුණු මත අන් අය අතර ප්‍රචලිත වූ අතර ඉස්ලාම් දහම ලොවපුරා ව්‍යාප්ත කරමින් ඔහුට හතලිස් වැනි වියේදී අල්ලා දෙවියන්ගේ පණිවුඩකරුවීමේ වරම ලැබිණ. අනතුරුව අරාබිකරයේ ප්‍රජාව නිවරදි මගට යොමු කිරීමට කටයුතු කළ එතුමන් වසර 23ක් තිස්සේ දෙවිදුන්ගෙන් ලැබුණු මෙහෙවර ඉටු කළේ ය. මේ අතර ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග, මිනිසත් බව වෙනුවෙන් කල කැපකිරීම් එකිනෙකා අතර භේදය හා වෛරය වගාදිගාවූ මෙකල අප සියල්ලන්ගේ පරමාදර්ශයට යෝග්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ අදට යෙදී තිබෙන නබිතුමාගේ උපන් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි. ජනාධිපතිවරයා එම පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, සියලු සත්ත්වයන්ට ආදරය දැක්වීමේ නබිතුමානන්ගේ දර්ශනය, අප සැම දෙනාගේම දෛනික ජීවිතයේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකත්වය සැපයීමට හේතුවේවා..! යන්නයි. ලෝකයේ ඉස්ලාමිය රටවල් ජාත්‍යන්තර සංවිධාන තුළ ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව සහයෝගය දක්වා ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අපට ලබාදුන් ඒ අන්තර් ජාතික සහයෝගයට කෘතඥතාව ප්‍රකාශ කරන බවයි.