ජනවාරි 1 සිට රාජ්‍ය මුදල් පරිහරණය ගැටලුවක් - මංගල සමරවීර කියයි

by Staff writer 20-11-2018 | 8:42 PM
COLOMBO (News 1st) - වත්මන් දේශපාලන තත්ත්වය තුළ රටේ කටයුතු පවත්වාගෙන යාම සඳහා මුදල් වැය කිරීම පිළිබඳව සංවාදාත්මක තත්ත්වයක් ඇති වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පැවසුවේ, මේ වසරේ දෙසැම්බර් 31 වනදාට ප්‍රථම රජය අතුරු සම්මත ගිණුමක් හෝ අයවැයක් ඉදිරිපත් නොකළහොත් 2019 ජනවාරි පළමු වනදා සිට රාජ්‍ය ක්‍රියාවලිය අක්‍රීය වන බව ය. ඒකාබද්ධ අරමුදලේ තිබෙන මුදල් ලබා ගැනීමට නම් නීත්‍යානුකූල මුදල් ඇමතිවරයෙකු සිටිය යුතු බව මංගල සමරවීර මහතා පෙන්වා දෙයි. මංගල සමරවීර මහතා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුවට බහුතරයක් නොමැති නිසා අයවැයක් සම්මත කර ගැනීමට නොහැකි බව ය. මේ අතර ලබන වසරේ ජනවාරි 10 වනදා අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් ගෙවිය යුතු බව මංගල සමරවීර මහතා පවසයි. ණය ගෙවීම්වලදී ඉදිරි සති කිහිපයේදී මහා අර්බුදයකට මුහුණ දීමට සිදු වනු ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.