පාර්. සාමකාමීව කටයුතු කිරීම ගැන ජනපතිගේ ස්තූතිය..!

පාර්ලිමේන්තුව තුළ සාමකාමීව කටයුතු කිරීම ගැන ජනපතිගෙන් පක්ෂ නායකයින්ට ස්තූතිය...!

by Hashini De Mel 19-11-2018 | 4:12 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව තුළදී අද දින සාමකාමීව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන පක්ෂ නායකයින්ට සහ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඊයේ දිනයේ පැවති සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපතිතුමා විසින් ලබා දෙන ලද මාර්ගෝපදේශයන් නිවැරදි ලෙස අනුගමනය කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකඟත්වය පළ කිරීම පිළිබඳව ජනාධිපතිතුමා සිය බලවත් ප්‍රසාදය පළ කරන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිතුමා විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු සහ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමෙන් පසු ඇතැම් පාර්ශවයන් පාර්ලිමේන්තුව තුළ මතු කරන ලද අර්බුද පිළිබඳ ජනාධිපතිතුමා අවධානය යොමු කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.