පාර්ලිමේන්තුව අද ත් 1කට රැස්වෙයි...

පාර්ලිමේන්තුව අද ත් 1කට රැස්වෙයි...

by Sagarika Chathumali 19-11-2018 | 7:31 AM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට යළි රැස්වීමට නියමිතයි. පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ ඇතිවූ කළහකාරි තත්ත්වය හේතුවෙන් අද දිනය දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේ ය. මේ අතර පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී විනය කඩ කරමින් ක්‍රියා කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීමට කථානායක කරු ජයසූරිය මහතා ස්වාධීන කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ. අද උදෑසන පාර්ලිමේන්තු සංකීරණය තුළදී ආණ්ඩු පක්ෂයේ මන්‍ත්‍රී කණ්ඩායම විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසී ය. මීට අමතරව එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙකුත් පක්ෂවල මන්ත්‍රී කණ්ඩායම් ද පාර්ලිමේන්තු සංකීරණය තුළදී විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්නදු මහතා පැවසුවේ, අද දිනයේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළත් ඉන් පිටතත් ආරක්ෂක විධිවිධාන තර කිරීමට පියවර ගන්නා බවයි. මේ අතර පාර්ලිමේන්තුව තුළ ගැටුම්වලින් තොරව සාමකාමීව කටයුතු කිරීමට ඊයේ පැවති සර්ව පාක්ෂික හමුවේදී එකඟතාවකට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළේ ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 17 වන දා රාත්‍රී කළ දැනුම් දීමට අනුව සර්ව පාක්ෂික හමුව සඳහා ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ රැසක නියෝජිතයෝ ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියහ. ඒ සඳහා කතානායක කරු ජයසූරිය මහතාට ආරාධනා කර තිබුණ ද, කතානායකවරයා එම හමුවට සහභාගී නොවූ අතර ජනතා විමුක්ති පෙරමුණ තමන් සර්ව පාක්ෂික හමුවට සහභාගී නොවන බව ජනාධිපතිවරයාට දන්වා තිබිණ. පැය 2කට ආසන්න කාලයක් පැවති සර්ව පාක්ෂික හමුවේදී, ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා ඇත්තේ, ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව තමාට තීරණයක් ගැනීමට නම්, මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමය භාවිතයෙන් ඡන්ද ගණනය කිරිම අත්‍යවශ්‍ය බවයි. එය තමාට, ජනතාවට මෙන්ම අන්තර්ජාතිකව ද පිළිගත හැකි ක්‍රමයක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. රජයක් වෙනස් කිරීම වැනි ප්‍රබල කාරණා පිළිබඳව තීරණයක් ගැනීමේදී ස්ථාවර නියෝගවල සඳහන්ව තිබුණත්, මන්ත්‍රීවරුන්ගේ හඬ අනුව ඡන්දයක් පැවැත්වීම කාලෝචිත නොවන අතර එහි විනිවිදභාවයක් නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. කෙසේ වෙතත් අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, අද දිනයේ ද පාර්ලිමේන්තුව තුළ කුමන තත්ත්වයක් අද්ගත වේ ද යන්න අවිනිශ්චිත බවයි.