චීන නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් මාලදිවයින ඉවත් වෙයි

චීන - මාලදිවයින් නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් මාලදිවයින ඉවත්වීමට සැරසෙයි

by Staff writer 19-11-2018 | 6:00 PM

චීනය සමග අත්සන් කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ඉවත්වීමට මාලදිවයින් නව රජය සැලසුම් කරන බව මාලදිවයින් පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක මොහොමඩ් නෂීඩ් පවසයි.

රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ලොව කුඩා රාජ්‍යයක් ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය සමග එවැනි වෙළෙඳ ගිවිසුමකට එළැඹීම අත්වැරදීමක් බවයි. මොහොමඩ් නෂීඩ් මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන් ම වත්මන් ජනපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලීගේ උපදේශකවරයෙකි. මොහොමඩ නෂීඩ් කියා සිටියේ, චීනය හා මාලදිවයින අතර වෙළෙඳ පරතරය ඉතා ඉහළ බවයි. චීනය තම රටෙන් කිසිවක් මිලදී නොගන්නා බැවින් මෙය එක් පාර්ශවයකට පමණක් ක්‍රියාත්මක වන ගිවිසුමක් බව නෂීඩ් කියා සිටියේ ය. මාලදිවයින් නව ජනපති මොහොමඩ් සෝලි පසුගිය සෙනසුරාදා ධූරයේ දිවුරුම් දුන් අතර ඔහු කියා සිටියේ, මාහා භාණ්ඩාගාරය කොල්ල කා ඇති බවයි. චීනය ණයකරුවන්ට ණයවීම හමුවේ රට ආර්ථික දුෂ්කරතාවකට මුහුණපා ඇති බව ඔහු කියා සිටියේ ය. මාලදිවයින හා චීනය අතර මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබුණේ එරට හිටපු ජනපති අබ්දුල්ලා යාමීන් පසුගිය දෙසැම්බර් මාසයේ චීනයේ කළ සංචාරය තුළදීයි. අනතුරුව මසක් තුළ අදාළ වෙළෙඳ ගිවිසුම පාර්ලිමේන්තුව තුළ අනුමත වූයේ විපක්ෂයේ විරෝධතා මධ්‍යයේ ය. පිටු 1000 න් සමන්විත මෙම වෙළෙඳ ගිවිසුම පාර්ලිමේන්තුව තුළ පැයකටත් අඩු කාලයකින් අනුමත වූයේ කිසිදු විවාදයකින් තොරවයි.