අගමැති ලේකම්ට මූල්‍ය පාලන බලතළ නැහැ... එ.ජා.පයෙන් යෝජනාවක්

by Staff writer 19-11-2018 | 9:36 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය ලේකම්වරයාට ජනරජයේ මුදල් පරිහරණය කිරීමට බලයක් නොමැති බවට පුර්ණ යෝජනාවක් අද පස්වරුවේ කථානායකවරයා වෙත භාරදී තිබේ.

කථානායක කාර්යාලය සඳහන් කළේ නවීන් දිසානායක, රවී කරුණනායක, නාලක කොළොන්නගේ, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි සහ චතුර සේනාරත්න යන මහත්වරුන්ගේ අත්සනින් එම යෝජනාව භාරදුන් බවයි. අදාළ යෝජනාව ලබන 29 වන දා විභාගයට ගැනීමට තීරණය කර ඇතැයි කථානායක කාර්යාලය සඳහන් කළේ ය. නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය සඳහන් කළේ, පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධි පිළිබඳ කණගාටුවට පත් වන බවත් එවැනි අශෝභන තත්ත්වයන් යළි ඇති නොවීමට වග බලා ගැනිම සෑම පාර්ශවයකම යුතුකමක් බවත් කථානායකවරයා පක්ෂ නායක රැස්වීමේදී අවධාරණය කළ බවයි. පාර්ලිමේන්තුවේ සියලුම විනය කඩ කිරීම් පිළිබඳව වහාම පරීක්ෂා කර පියවර ගැනීමට දැනටමත් අදාළ අංශ වෙතින් වාර්තාවක් කැඳවා ඇතැයි කථානායකවරයා සඳහන් කර ඇත.