සභා ගර්භයේ වූ සිදුවීම ගැන ප්‍රකාශ සටහන් කිරීම ඇරඹේ

පාර්ලිමේන්තුවේ වූ ගැටුම් සම්බන්ධයෙන් 06 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනේ

by Staff writer 18-11-2018 | 7:07 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ ඇතිවූ කළහාකාරි සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට 6 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, විමර්ශනය සඳහා විශේෂ කණ්ඩායමක් යොමු කර ඇති බවයි. පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සභාගර්භයේ ඇතිවූ කළහාකාරී සිදුවීමත් සමග තුවාල ලැබු පොලිස් නිලධාරීන්ගේ වෛද්‍ය වාර්තා ලබා ගැනීමට ද පියවර ගෙන ඇති බව පොලීසිය පැවසුවේ ය. ඒ අනුව මේ වන විට නිලධාරීන් 5 දෙනෙකුගේ පමණ වෛද්‍ය වාර්තා ලබාගෙන තිබේ. පාර්ලිමේන්තුවේ ඇතිවූ කළහාකාරී සිදුවීම්වලදී පොලිස් නිලධාරීන් 12 දෙනෙකු පමණ සුළු තුවාල ලැබූහ. මේ අතර මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය වාර්තා ලබා ගැනීම ඇතුළු ඉදිරි විමර්ශන සඳහා කථානායකවරයාගේ අවසරය ලබා ගැනීමට පියවර ගන්නා බව ද පොලීසිය ප්‍රකාශ ප්‍රකාශ කර තිබේ. පාර්ලිමේන්තු සභා ගර්භයට තියුණු ආයුධ රැගෙන ඒම සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. ඒ පාර්ලිමේන්තුවේ ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කර ගනිමිනි.