මෙවර සා/පෙළ අයැදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්...!

මෙවර සා/පෙළ අපේක්ෂකයින්ගෙන් 95% කට ජාතික හැඳුනුම්පත් සකස් කර අවසන්

by Staff writer 17-11-2018 | 4:51 PM

COLOMBO (News 1st) - මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ගෙන් 95% කට ජාතික හැඳුනුම්පත් සකස් කර අවසන් බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ, මේ වනවිට හැඳුනුම්පත් තුන්ලක්ෂ අනුපන් දහසක් සකස් කර ඇති බවය. ඉන් තුන් ලක්ෂ අනු දෙදහසක් බෙදා හැර ඇති බව ද ඔහු සඳහන් කළේ ය. කිසියම් සිසුවෙකු ඉදිරිපත් කළ අයැදුම්පතෙහි අඩු පාඩු සම්පුර්ණ කිරීමට දන්වා ඇත්නම් හෝ මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා නොගත් සාමාන්‍ය පෙළ අයැදුම්කරුවෙක් සිටී නම් කඩිනමින් අවශ්‍ය ලිපි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියේ ය. මෙවර ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට ඉදිරිපත් වී ඇති පාසල් අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. ඒ, ජාතික හැඳුනුම්පත් ලබා ගන්නා අයැදුම්කරුවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 16 සිට අවුරුදු 15 දක්වා අඩු කිරීම හේතුවෙනි. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ, මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගයට හැඳුනුම්පත් නිකුත් කිරීම වෙනුවෙන් විශේෂ දින වෙන් නොකරන බවයි. ඒ පාසල් අපේක්ෂකයින් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම මේ වසරේ ඉතා සාර්ථකව අවසන් අදියරට පැමිණ තිබීම හේතුවෙන් ය.