මාලදිවයින් නව ජනපති අද දිවුරුම් දෙයි

මාලදිවයින් නව ජනපති අද දිවුරුම් දෙයි

by Staff writer 17-11-2018 | 7:55 AM

මාලදිවයින් නව ජනාධිපතිවරයා ලෙස ඊබ්‍රාහිම් මෝහොමඩ් සෝලි අද දිවුරුම් දීමට නියමිතව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මාලේ නුවර ජාතික පාපාන්දු ක්‍රීඩාංගණයේ සංවිධානය කර ඇති විශේෂ උත්සවයකදී නව ජනාධිපතිවරයාගේ දිවුරුම්දීම සිදුවන බවයි. මාලදිවයින් නව ජනාධිපති ඊබ්‍ර්රාහිම් මොහෝමඩ් සෝලිගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගි වනු ඇති බව ඉන්දිය මාධ්‍ය අද වාර්තා කළේ ය. මීට අමතරව චීනය නියෝජනය කරමින් එරට සංචාරක අමාත්‍ය ලුඕ ෂුංග්ද ඊට සහභාගිවීමට නියමිත වේ. පසුගිය සැප්තැම්බර් 23 වන දා පැවැති මාලදිවයින් ජනාධිපතිවරණයෙන් එරට පාලන බලය හෙබවූ අබ්දුල්ලා යමින් පරාජය කරමින් විපක්ෂ පොදු අපේක්ෂක ඊබ්‍ර්හිම් මොහොමඩ් සෝලි ජයග්‍රහණය හිමිකර ගත්තේ ය. මෙවර ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට චීනයේ සහය හිමිවූ බවත්, විපක්ෂ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් සොලිට ඉන්දියාවේ සහාය හිමිවූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.