ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්

මහජන සේවාවන් දුර්වලවීමට ඉඩ නොතබන ලෙසට ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්

by Staff writer 17-11-2018 | 6:01 PM

COLOMBO (News 1st) - රාජ්‍ය අංශයේ කටයුතු සහ මහජන සේවාවන් කිසිදු අවස්ථාවක දුර්වලවීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ, අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදීයි. ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ රට තුළ පවතින දේශපාලන ගැටලුකාරී තත්ත්වය ඉදිරියේදී නිරාකරණය වනු ඇති බවයි. එතෙක් රාජ්‍ය ව්‍යුහයේ කටයුතු සහ මහජන සේවාවන් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ ය. සියලු රාජ්‍ය නිලධාරීන් අපක්ෂපාතීව සහ මධ්‍යස්ථව ඉදිරියට සිය වගකීම් ඉටු කරනු ඇතැයි විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට පැමිණිලි ඉදිරිපත් නොවීම පිළිබඳව සිය සතුට පළ කර සිටි. වරාය, විදුලිය, ඛනිජ තෙල්, සෞඛ්‍ය සේවා සහ ආහාර ඇතුලු අත්‍යවශ්‍ය සේවා කිසිදු ගැටලුකාරී තත්ත්වයකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ද මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ ය. ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ, අද දවසේගත යුතු තීන්දු තීරණ නියමිත පරිදි නොගතහොත් තව ත් මාස තුන හතරකින් රටක් වශයෙන් ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවයි.