රැඳවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ

අඟුණුකොළපැලැස්සේ රැඳවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹේ

by Staff writer 17-11-2018 | 11:49 AM

COLOMBO (News 1st) - මරණීය දණ්ඩනය නියම කර බන්ධනාගාරගත කර සිටි රැඳවියෙකු ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඊයේ දහවල් සිදු වූ මෙම ඝාතනය පහරදීමකින් සිදු කළ බවත් එය එම බන්ධනාගාරයේම මරණීය දණ්ඩනය නියම වී ඇති වෙනත් සිරකරුවන් දෙදෙනෙකු විසින් සිදුකර ඇති බවත් ය. මෙලෙස ඝාතනය වී ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේදී පුද්ගලයන් 06 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කර තිබේ. ඔහු හෝකන්දර උතුර ප්‍රදේශයේ පදිංචි සංජීව නොහොත් උක්කුවා නැමැති 39 හැවිරිදි සිරකරුවෙක්ය. ඝාතනය සිදු කළ සිරකරුවන් දෙදෙනා මේ වන විට වෙන වෙනම සිර මැදිරි දෙකක් තුළ රඳවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලීසිය සහ බන්ධනාගාර අධිකාරිය විසින් සිදු කරනු ලැබේ.