සභා ගර්භයට ආයුධ ගෙන ඒම සම්බන්ධයෙන් විමර්ශන ඇරඹේ

සභා ගර්භයට ආයුධ ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

by Staff writer 16-11-2018 | 6:35 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු සභා ගර්භයට තියුණු ආයුධ රැගෙන ආවා යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

පාර්ලිමේන්තු ආරක්ෂාව භාර පොලිස් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පාර්ලිමේන්තු ආරක්ෂක කැමරා උපයෝගී කර ගනිමින් විමර්ශන ක්‍රියාත්මක බවය. පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු වනු ඇති. ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ගැටුම් අතරතුර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සතුව තියුණු ආයුධ පැවති බවට පැමිණිලි ලැබී ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය. මේ අනූව මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තුවට ඇතුළුවන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ අද සිට තර කරන බව ද පාර්ලිමේන්තු ආරක්ෂාව භාර පොලිස් කොට්ඨාසය පවසා තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කථානායකවරයා ද විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ නිල කැමරා දර්ශන උපයෝගී කර ගනිමිනි. පාර්ලිමේන්තු සභා ගර්භය තුළට මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ගිනි අවි හෝ ආයුධය රැගෙන යාම නීතියෙන් තහනම් වේ.