ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් පහර දීම්

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් පහර දීම්: පොලිස් නිලධාරීන්ටත් මිරිස් කුඩු මිශ්‍ර ජල ප්‍රහාරයක්

by Staff writer 16-11-2018 | 9:37 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද පස්වරු 1.30ට රැස්වීමට නියමිතව තිබිණි. නමුත් ඊට පෙර කථානායක අසුනේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අසුන් ගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු ඒ වටා රැස්වී විරෝධතාවක් ආරම්භ කළහ. ඔවුන් කියා සිටියේ, ඊයේ හැසිරීම සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත යුතු බව ය. සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විරෝධය නිසා නියමිත වේලාවට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට නොහැකි විය. විරෝධතාව පැවැත්වෙන අතර පස්වරු 2.00ට පමණ හෙලිකොප්ටර් යානයක් ද පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණියේ ය. පස්වරු 2.15 ට පමණ කථානායක කරු ජයසූරිය මහතා සහ සෙංකෝලය රැගත් වේත්‍රධාරීවරයා ආණ්ඩු පක්ෂය දෙසින් පාර්ලිමේන්තු සභාවට පැමිණියේ පොලිස් ආරක්ෂාව ඇතිව ය. සන්ධාන මන්ත්‍රීවරුන් විසින් පොලිස් නිලධාරීන්ට ද පහර දීම් කළ අතර මිරිස් කුඩු මිශ්‍ර ජල ප්‍රහාරයක් ද එල්ල කළේ ය. විරෝධය අතරතුර ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් නැවතත් සම්මත කර ගෙන තිබේ. රැස්වීම අවසන් වී පැය කිහිපයක් යන තෙක් මන්ත්‍රීවරු සභාවේ රැස්ව සිටියහ. සන්ධාන මන්ත්‍රීවරුන්ගේ පහර දීම් හමුවේ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 6 දෙනෙකු අද පස්වරුව වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති වෛද්‍ය ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබිණි. අප පාර්ලිමේන්තු වාර්තාකරුවන් පැවසුවේ, මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලැබූ බව ය. ඊයේ පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගෙන අද දෙවන මහළේ මන්ත්‍රී පිවිසුමේදී සියලු ම මන්ත්‍රීවරුන් පූර්ණ පරීක්ෂාවකට ලක් කර තිබේ. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා පැවසුවේ, කථානායකවරයාගේ අවසරය මත අද මෙම පියවර ගෙන තිබූ බව ය.