ගාමිණි සෙනරත්ට එරෙහි නඩුව අද සිට දිනපතා විභාගයට

ගාමිණි සෙනරත් ඇතුළු විත්තිකරුවන් 4 දෙනාට එරෙහි නඩුව අද සිට දිනපතා විභාගයට ගැනේ

by Staff writer 15-11-2018 | 7:18 AM
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනාට එරෙහිව පවරා ඇති නඩුව අද සිට දිනපතා විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල එම තීරණය ගනු ලැබුවේ, අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී ය. ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් අවභාවිත කිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට මෙම නඩුව පවරා තිබේ. එම නඩුවේ 4 වන සාක්ෂිකරු ලෙස නම් කොට ඇති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාට අද පෙරවරු 9.00 ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වහාම දන්වා යැවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේ ය. එම නඩුව ඊයේ දින කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුසිත් මුදලිගේ මහතා කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය.